මේ ඒ වගේ ඉස්කෝලෙන් අපේ ඔළුවලට දාපු බොරු කිහිපයක් .
1 ."මහවැළි, කැළණි, වලවේ, කළු යන ගංගා
සමනළ කන්ද මුදුනේ සිට පැන නැංගා"
පී. බී. අල්විස් පෙරේරාගේ මේ කවි පෙළ අපි ඉගෙනගන්නෙ ඉස්කෝලෙ පොඩි පන්තිවලදි මයි. අල්විස් පෙරේරා කියන්නෙ හිටපු දක්ෂ කවියෙක්. ඒත් කරුණු හැටියට ගත්තොත් නම් මේ කවියෙන් කියන්නෙ පට්ටපල් බොරුවක්. මහවැළි, කැළණි, වලවේ කියන ගංගා පටන්ගන්නෙ සමනල කන්ද හෙවත් ශ්‍රීපාද කන්දෙන් නෙවෙයි!
සාමාන්‍යයෙන් ගංගාවක් හැදෙන්නෙ එකඑක තැන්තැන්වලින් එන පොඩිපොඩි දිය පාරවල් ගොඩක් එකතුවෙලා මිස එක තැනකින් ටැප් එකක් ඇරියා වගේ පටන්ගන්නේ නෑ. ඒ වුණත් ඒ අතරින් ප්‍රධාන මූලාශ්‍රය ඒ ගංගාවේ ආරම්භය කියල ගන්න එකෙත් වරදක් නෑ. ඒත් එහෙම බැලූවත් ඔය ගංගා හතරෙන් සමනල කන්දෙන් පටන්ගන්නෙ කළු ගඟ විතරයි. කැළණි සහ වලවේ ගංගා පටන්ගන්නේ හෝටන් තැන්නෙන්. මහවැලි ගගේ ප්‍රධාන මූලාශ්‍රය වන කොත්මලේ ඔය පටන්ගන්නෙත් හෝටන් තැන්නෙන්.
2.මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි
රොබට් නොක්ස් කීවා කියන මේ කතාව අපට උගන්වන්නේ ගොවිතැනට ඒ කාලේ තිබුණු පිළිගැනීම කොච්චරද කියල පෙන්වන්නයි. ඒත් මේක තනිකර ම රොබට් නොක්ස්ගේ අදහස අමු අමුවේ විකෘතිකිරීමක්.
රොබට් නොක්ස්, උඩුනුවර හා යටිනුවර ගැන ලියපු විස්තරය තමයි මේ විදියට විකෘතිකරලා තියෙන්නෙ. නොක්ස්ගේ පොතට අනුව උඩුනුවර හා යටිනුවර පලාත් සහ ඒ පැත්තෙ ජීවත්වෙන අය අනෙත් පළාත්වලට වඩා උසස් කියල පිළිගැනීමක් තිබිලා තියෙනවා. ඒ නිසා, රජෙක් පත්කරගන්න ඕන වුණොත් කරන්න තියෙන්නෙ උඩුනුවර-යටිනුවර දෙපලාතෙ ඉන්න ඕන කෙනෙක්ව අරන් ගිහින් පොඩ්ඩක් හෝදලකරල ගන්න එකයි කියල කතාවක් ඒ පැත්තෙ මිනිස්සු අතර තිබිලා තියෙනවා. කොටින් ම මේකෙ කියවෙන්නෙ ඒ පලාත්වල ජීවත් වුණු මිනිස්සුන්ට තමන්ගේ පරම්පරාව සහ තත්ත්වය ගැන තිබුණු අධිතක්සේරුව ගැන මිස ගොවිකම ගැන නෙවයි. ඒ කතාව තමයි මේ අපේ කට්ටිය එයාලා ආසා විදියට වෙනස්කරලා අරන් තියෙන්නේ.